Sunday 30 October 2011

පව්කාරයාට ගල් ගසන්න..




  
පස් කන්ඩියේ සිදුරකට කොළ පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුත් පොළඟා රිංගමින් සිටිනු මා දුටිමි. සිතන්නට වෙලාවක් නැත වහා ගල් ගෙඩියක් අතට ගත් මා වේගයෙන් ඌ මතට දමා ගැසුවෙමි. එයින් ශරීරයෙන් අඩක් චප්ප වුණු ‍පොළඟාගේ සිදුර තුළට රිංගූ හිස ආපසු එළියට විත් කාණුවට වැටිණි. ඌ මරණීය වේදනාවෙන් දඟලයි. මගේ මුඵ ඇඟම හිරි වැටී හිත නොසන්සුන් වෙයි. කෙසේ හෝ පටන් ගත් මේ අපුල වැඩය අවසන් කල යුතුය. තවත් ගල් ගෙඩියක් ගෙන පොළඟාගේ හිස මතට දමා ගැසුවේ අප්‍රසන්න රාජකාරියක අවසානය නොකර බැරි කමට කරන විදියේ අපුල සහ වේදනාකාරී නොසන්සුන් මනසකිනි. තව දුරටත් මට එය විඳ දරා ගත නොහැක්කකි.

අවසානයේ මිය ගිය සතා පස් දමා වසා දැමුවේ අවසිහියෙන් මෙනි. මගේ සිතේ පැවැති වේදනාව සහ මා ගැනම වූ ද්වේෂයෙන් පෙළෙන මා අතු පතර වැඩී ගිය පේර ගස් කිහිපයේ සෙවණේ බිම වාඩි වී සිටියේ මා ගැනම ඇතිවූ පිළිකුල මැඩ පැවැත්විය නොහැකිවය.

මා තුළ ක්‍රියාත්මක වූ‍යේ කුමක්ද? මට සිතා ගත නොහැකි විය.  මා මොහොතකට පෙර ම්ලේච්ඡයෙක් මෙන් හැසිරුණේ කෙසේද යන්න මට සිතා ගත නොහැකි විය. එම සතා උගේ පාඩුවේ පස් කන්ඩියේ සිදුරකට රිංගමින් සිටියේය. ඌ කිසිදු හානියක් මා හට නොකරන ලද අතර මා ගැන සැලකිලිමත් නොවූ බවද මට විශ්වාසය. ඒත් එකල කුඩා මා තුළ ජීවත්වූ ජීවියා තුළට සර්පයන් මරා දැමිය යුත්තන් බවට දන්නා කල සිට යෝජනා වී තිබුණේය. ඒ බව එකල කුඩා මගේ මනසට කවුරුන් කවදා කෙසේ එන්නත් කලේද යන්න මට අදටත් මතකයක් නැත. නමුත් ඒ මානසික එන්නත මා තුළ සක්‍රීයව වැඩ කල බව මා පසක් කර ගන්නා විට මරණයක් මා අතින් සිදුවී හමාරය.

එදින සිට දින සති ගණනක් දහවලත් රැය පුරාත් මා ගැන පිළිකුළෙන් සහ නොරිස්සුමෙන් පෙලුණ මගේ ඇස් වලට විටෙක කඳුඵ පිරවිණ. ඒ කඳුඵනම් මා වෙනුවෙන් එතෙක් ආත්මානුකම්පාවෙන් හෙඵ කඳුඵ වලට වඩා වෙනස් වූ තැනකින් ගලා ආ බව මට දැණින. ඒ තුළින් මගේ සිත අසීමිතව රිදවී මා සැහැසි නරුමයෙකු බව මටම ඒත්තු ගැන්වීමෙන් මා සහනයක් ලදිමි. මා නිවැරැදකරුවෙකු කරමින් නැගෙන සිතුවිල්ලකදී පවා මා මටම ද්වේශ කළෙමි.

සර්පයන් විෂකුරුයැයි මරණීය තර්ජන ගෙන එන්නේ යැයි මා තුළ විශ්වාසය තහවුරු කරන්නට මට පෙර මේ පෘථිවි මතුපිටට පැමිණියන් සාර්ථක වීම නිසා මා මගේම වූ අදහසක් නැති මෝඩයෙකු බවට පත්වී සිටි බව මට අවබෝධ වීම තවත් මාවම නුරුස්සන ස්වභාවයක් මා තුළ ඇති කරලීය. ඒත් ඒ විශ්වාසයේ එන්නත මා මනස තුළ සක්‍රීයව පැවති ඒ කාලය තුළ සහ පොළඟා මා අතින් මියයන මොහොත දක්වාම සර්පයන් දුටු තැන මැරිය යුතු යැයි විෂකුරු චේතනාවක සිටියේ මා මිස කිසිදු සර්පයෙක් නොවේ. මේ ලොව කිසිදු සර්පයෙක් මිනිසුන් මරා දැමිය යුතුයි යන චේතනා වලින් නොපෙළෙයි. එවැනි මතවාදයක් හෝ පිළිගැනීමක් සර්පයින් තුළ නොමැති බව මා තුළ අදටත් ඇති විශ්වාසයයි. එහෙත් එදිනෙන් පසු මා තව තවත් වටපිටාව ගැන සහ සර්පයින් ගැන බියෙන් පෙළෙන්නෙක් වීමි. හේතුව මගේ විෂකුරු බව මියගිය සර්පයාගේ ඥාතීන් හඳුනාගෙන මගෙන් පළිගනු ඇතැයි මා සිතූ බැවිනි. ඒත් කිසිදා එය සිදු නොවිණ. ඔවුන් මා තරම් ම්ලේච්ඡ ආකල්පයන්, විශ්වාසයන් සහ මතවාදයන්ගෙන් මනස විකෘති නොවුණු උන් බව අවසානයේ ඒ නිසාම මට තහවුරු විය.

කෙසේ වුවත් ඉන් පසු කිසිදු සර්පයෙකු මැරීමට මට ශක්තියක් නැති විය. ඒත් සර්පයන්‍ විෂකුරු යැයි ගල් ගසා ඔඵව පොඩි කල යුතුයැයි විශ්වාසයේ මිනිසුන් සිටිති. ඒත් සර්පයන් තුළ එවැනි ආකල්පයක් නොමැති බැවින් මිනිසුන් ගහණය වැඩි වෙමින් සර්ප ගහණය අඩු වෙමින් තිබේ. සර්පයන් සම්බන්ධයෙන් පවතින මානව පැසිස්ට්වාදයට එරෙහිව සර්පයන් කිසිදා එකතු වී නොමැත.

ගල් ගැසීම මිනිසා තුළ පවතින සහජ පුරුද්දක් මෙනි. ගෙඩි වලින් පිරුණු ගස් වලටත්, වත්තට පැමිණෙන බල්ලන්ටත්, වඳුරන්ටත් ගල් ගසන මිනිසාම සර්පයෙක් දුටු විට ගල් ගසා මරා දමන්නට පෙළඹෙයි. ඉන්පසු මහත් සමාජ සේවයක් කල ලෙසින් සැනසුම් සුසුමක් හෙළයි. පළමු ගල කිසිදා පවක් නොකළ එකෙක් විසින් ගසන්නැයි ජේසුස් කී අරුත එදා මා නොදැන සිටියෙමි. එසේ වී නම් මට කිසිදා ගලක් ඔසවීමට ශක්තියක් නොලැබෙනු ඇත. මන්ද මා පව් කන්දක් බව එදාද මා දැන සිටි බැවිනි. ඒත් එකල පව්කාරයන් එක්වී එකෙකු පව්කාරයෙකු ලෙස සලකා ගල් ගසා මරා දැමුණු බව ඒ වදනින් තහවුරු වෙයි. අදද ඇතැම් රටවල් වල වැරැදිකරුවන් වන මිනිසුන් ගල් ගසා මරා දැමෙන බව මා අසා තිබේ.

කොහේදෝ රටක සිඟන්නන්ද ගල් ගසා මරා දැමෙන බව මා කොතනකදී අසා හෝ කියවා තිබුණි. සමහර විට සිඟන්නන්ද සර්පයන් මෙන් විෂකුරු බවෙන් යුතු යැයි සැලකෙන සත්ව කොටසක් විය හැක. එවැනි විශ්වාසයක් ඔඵ තුළට එන්නත් නොකෙරුණ යුගයක වාසනාවට මෙන් මා මෙළොවට පැමිණියෙමි. නැතිනම් මගේ ඔඵවද කුඩු වීමට ඕනෑ තරම් අවස්ථා තිබිණි.

මා මිනිසෙකු වීම ගැන මා කිසිදා සෑහීමකට පත් නොවී සිටින්නෙමි. ඒ අතීත සිදුවීම් කිසිවක් සමාජ පිළිගැනීම්, තර්කයන්, සම්මතයන් ලෙස මා නොදන්නා සමයක මා තුළට රිංගූ බීජ වල අස්වැන්නක් ලෙස සැලකීමෙන් මට මාවම නිදොස් කල නොහැකි බැවිනි. සිතා බැලිය හැකි සිතක් තිබියදී එසේ මෝඩයෙකු ලෙස ක්‍රියා කිරීම ගැන කිසිදා මා මට සමාව නොදෙන්න තීරණය කළේ අද ඊයේ නොවේ.

කෙසේ වුවත් මා මාවම මෙන්ම මා ඇස ගැටෙන ගල් ගෙඩිද අද දකින්නේ පිළිකුලෙනි. මට මිනිසෙකු ලෙස මීට වඩා වගකීමක් ඇතිව මගේම නැවුම් දැක්මකින් ලෝකය දකින්නට හැකියාව තිබිණි. ඒ ශඛ්‍යතාව සමග මා උපන්නෙමි. එහෙත් එසවූ ගල්ගෙඩියකින් අවිඥානිකව ජීවිතයක් නසන්නට තරම් මා මෝඩයෙකු වීමි. විෂකුරු බීජ දරාගෙන සිටියෙමි. ඒ අවිඥානික බව ඒ දක්වා කොයි තරම් කාළකණ්නි සිදුවීම් කරා මා මෙහෙයවීද යන්න මා දනිමි. එකල මා කුඩා දරුවෙකු වී යැයි නිදහසට කරුණු සපයා ගන්නා නරුමයෙක් වීමට මට නොහැක.
‍භෞතිකව ගල් නොවූවද ගල් මෙන් විසල් පහරවල් එල්ල කරන මානසික සංසිද්ධින් කොයි තරම් ඇතුළත සිදුවීද? ඇත්තෙන්ම සැම විටම භෞතික නොවුණත් ගලක් අතින් ගත් ම්ලේච්ඡයෙකු මා තුළ අද දක්වාම ජීවත් වී ඇත. මා දමා ගසන්නට බොහෝ ගල් එක් රැස් කරගෙන සිටි ම්ලේච්ඡයෙකු වූයේ, ගල් වලින් දමා ගසන්නට හුරුපුරුදු වූ මිනිසාගේ සහජ නැමියාව නිසා යැයි පවසමින් මට නිදොස් විය නොහැක. එසේ අනුන්ගේ රූකඩයක් වූයේනම් ඒ මගේ නිවටභාවයය.

ඒ ම්ලේච්ඡයා නිදොස් කොට සමාව දීමට මට කිසිදා නොහැක. මා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් දෙවියන් සමග වූ ගිවිසුම කඩකර සිටින්නෙමි.එබැවින් මා ගල් ගැසීමට නොව ගල් පහර වැද මිය යන්නට පමණක් සුදුස්සෙක්මි.


Thursday 27 October 2011

පළඟැටියන් තෙමන වැස්ස



වැසි වැටෙනා අතීතයක
තෙමී හඞන පළඟැටි හඞ
ඇසෙන විටදි සුව කුටියක
සතුටු වුණා මම අපමණ
පළඟැටියෙක් නොවීම ගැන..

එහෙත් මෙන්න ඇද හැලෙනා
මහ වැස්සේ අද තෙමෙනා
පළඟැටියෙක් වෙලා මමත්
අන්න පෙනේ වැසුණු ගෙවල්
ඇතුළත උණුසුම පවතින..

පළඟැටියන් තෙමී නසින
හාංකවිසියක් නොදන්න
මිනිසුන් නින්දේ ගොරවති
ඒක තමයි සිස්ටම් එක
ජීවත්වන 
ඇස් පියාන
හෙණ ගැහුවත්
ඇස් නෑරෙන..

Wednesday 19 October 2011

දුමින්දලා මොළය පශ්චාත්භාගයේ තියෙන මෝඩයෝද?






දුමින්දට මොළයක් නැති ‍බව පහුගිය දිනවල ඔහුගේ මරණය පතන බොහෝ දෙනා ප්‍රකාශ කලෝය. ඔහු මෝඩයෙක් බවද, හරකෙක් බවද තැන් තැන් වල ලියා තිබුණේ  ඔඵවට වෙඩි වැදිණි නම් දුමින්දගේ මොළයට හානියක් සිදුවිය නොහැකි බව පවසමිනි. දුමින්දට මොළයක් වීනම් එය ඔඵවේ නොවන පශ්චාත්භාගයට අයත් තැනක තිබිය යුතු බවට බොහෝ දෙනාගේ උපකල්පනය විය.

ඒත් දුමින්ද මොළයක් නැති මෝඩයෙක්ද?

මොළයක් නැති එකෙකුට සිල්ලර කඩයකින් පටන් ගෙන දවසකට මිලියනයක් හෝ වියදම් කල හැකි මිනිහෙක් විය නොහැක.

එසේම නීතියක් තියෙනවා යැයි කියන රටක ඔහු මෝඩයෙක් නම් නීතියට ඉහළින් මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පාතාළ කටයුතු වල ඇතැම් මාධ්‍ය වල කියවෙන පරිදි නිරත විය නොහැක. එසේම නීතියෙන් තහනම් වූ තම පවුලේ ගුවන් විදුලි නාලිකාව දෑත් ශක්තිමත් කිරීමෙන් පමණක් ‍මොහොතකින් ආපසු ලබා ගත නොහැක. එසේනම් එතන මෝඩ වී ඇත්තේ හෝ හාස්‍යයට ලක්වී ඇත්තේ නීතිය මිස දුමින්ද නොවේ.

කුඩු ජාවාරමට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේ පවා කියවෙද්දී නීතියේ එක ඇඟිල්ලක්වත් ඔහු දෙසට ඔසවන්නට තරම් අබ්බගාත වූ නීතියක් ළඟදි, පොලිස් දෙපාර්තමේන්තුවක් ළඟදි මෝඩ වී ඇත්තේ දුමින්ද නොවේ.

එසේම රැකවලේ යෙදෙන පොලිස් හෝ හමුදා නිළධාරින් ඉදිරිපිටදීම මහ දවල් දාමරික කම්, මැරකම් වල නියලිම මෝඩයෙකුට කල නොහැක. මෝඩයන් සේ ඒ සියල්ල නොදුටූ ලෙස බලා සිටින්නට සිදු වූයේ පොලීසියට හෝ හමුදාවටය.

අවසාන වශයෙන් එක් අතපසු වීමකින් වෙඩියක් වැදුණු පමණින් ඔහු තවම මෝඩයෙක් වී නැත. මිනීමරුවා කියා බහුතරය අත දිගු කරද්දීත් ඉහළ රාජ්‍ය මට්ටමේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය හැකි මට්ටමකට ඔහු පැමිණ සිටීනම් ඔහු මෝඩයෙකු නොවේ. ඒත් ඔහුට අත දිගු කල සියල්ලන්ම ඔහු ඉදිරියේ මෝඩයන් වී හමාරය.

භාරත ඝාතනයේදී ඔහු සහ ඔහුගේ සහචරයන් සෘජුවම අවි ඔසවා මැදිහත් වුණ බවට සාක්ෂි ඇතැමුන් ලබා දී තිබෙන තත්වයක් තුළ ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ ප්‍රතිකාර ලබා දිය යුතු බව ඇතැමෙක් පවසද්දී රජයේ වගකිව යුතු නිළධාරීන් විසින්ම භාරත ඝාතනයට ඔහු සම්බන්ධ බවට තොරතුරු නැතැයි පවසන තත්වයක් තුළ ඔහු කිසිදා මෝඩකමක් කර නැති බව තහවුරුවේ. මෝඩයන් බවට පත් වෙමින් සිටින්නේ ඔහු අත් අඩංගුවට ගැනීම පිළිබඳ සිහින දකින්නන්ය.

‍එසේම යළි සුවපත් වී පැමිණෙන ඔහු නැවතත් තමන් නැවතූ තැනින් කරමින් සිටි සියල්ල හෙට දින අරඹන විට මෝඩයන් වී සිටින්නේ ඔහුද?

රූපවාහිනී නාලිකාවක් සහ දුරකතන සමාගමක අයිතිකරුවෙකු වීනම් මේ රටේ ජනාධිපති වීම තමාට මහ දෙයක් නොවන බව ඇතැම් පුවත් අඩවි වල වාර්තා කල පරිදි දුමින්ද පැවසූවේනම් එය මෝඩ ප්‍රකාශයක් නොවනු ඇත. ඔහුගේ බුද්ධිය විසින් මේ රටේ බහුතර ජනතාවගේ මානසික යථාර්තය තේරුම් ගෙන ඇත. කුළී ලියන්නන්, කුළී විද්වතුන් ඕනෑ තරම් සිටින රටක ඒ දෙක පමණක් තිබේනම් නිල් පාටට, කොළ පාටට හෝ රතු පාටට ගොන්නුන් හැට හැත්තෑ ලක්ෂයක් නිර්මාණය කල හැකි බව මේ ආශ්චර්යමත් දේශයට ඉහළින් ගෙවී ගිය කාලය සාක්ෂි දරයි.

ඔවුන්ට ඉහළින් මැස්සෙක්සෙකුටවත් පියාඹිය නොහැකි ලෙස පරිසරය ගොඩ නැගූ ඔවුන් මහ මොළකාරයන්ය. එවන් දුමින්දලා, මර්වින්ලා හැරුණු විට අපි සියල්ලන්ම මොළයක් නැති මෝඩයන් විය හැක.

මේ පවතින විදිය සියඵම දුමින්දලා වෙනුවෙන්ය. එබැවින් කිසිම දුමින්ද කෙනෙක් මොළයක් නැති මෝඩයෙක් නොවේ. ඒත් එක වරක් හෝ මේ දුමින්දලා වෙනුවෙන්ම නිමවුණ ක්‍රමය හෝ දුමින්දලා නියෝජනය කරන කිසියම් බලමුඵවක් වෙනුවෙන් සිතුවිල්ලකින්, වචනයකින්, කතිරයකින් හෝ දායක වී සිටින්නේනම් අද දුමින්දට මොළයක් නැති මෝඩයෙක් කියන සියල්ලන්ම අන්තම අන්ත මොළයක් නැති මෝඩයන්ය. පරාජය වන්නේද, පීඩිත වන්නේද, අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේද, කෙළවා ගන්නේද ඔවුන් මිස දුමින්දලානම් නොවේ.

එබැවින් පළමුව දුමින්දලාගේ මර්වින්ලාගේ මොළය ඇති තැන ගැන උපකල්පනය කරන සියල්ලන් තමන්ගේ මොළය පවතින්නේ කොතැනද යන්න පිළිබඳවත් සොයා බලන්නේනම් වඩා හොඳය.

Tuesday 11 October 2011

වෘක මරණය පතා..




පිපිරෙන්න හදිස්සිව
රතිඤ්ඤා වැලක් අර
හාවුන්ගෙ තිප්පොලේ..

මධුපෙරා සාදයට
බලන් ඇත මුවරැලක්
නිදි වරන් රෑ පුරා..

ලේ රතැස් වැසී යන
ප්‍රීතියේ පණිවුඩය
ගෙනෙන්නට මග බලන්
කුරුල්ලන් ගුවනතයි..

මෘගයින් පණ පෙවූ
වෘකයා අඩපණයි
වියරුහුණු වෘකයින්
වියරු සුසුමන් හෙලයි..


Thursday 6 October 2011

ධනපති කඳවුරේ පොඩි එකෙක්ගෙන්..




කවුද ඒ සීයල
කොහේදෝ රටක
හිටියයි කියන
උපන්තේකට රැවුල නොකපපු..

අනේ ඒ සීයල
හිටෝපු ගස් වලින් තාමත්
මරා ගනිමින් අර
ගෙඩි කඩන් විකුණයි
ගහක් පැලයක් ඇටයක්
කිසිදාක නොහිටෝපු
මෙන්න මෙහෙ මාමල
රැවුලුත් වවාගෙන...


Sunday 2 October 2011

ගෞරවය කෙළෙසන්නන්ට දඞුවම



උසස් හොරකමේ
ගෞරවය කෙලෙසන
පොඩි ප‍හේ හොරුන්ට
දඞුවම මරණයයි..