Thursday 31 May 2012

"මම" වෛරය පිණිස වෙමි..





මැවුම්කරු මා මවා ඇත්තේ
වෛරය සඳහාය
ලෝකය මා සූදානම් කලේ
වෛරය සඳහාය..

මගේ නිශ්චිත ජාතිය
සතුරුය අන් ජාතීන් වෙත
මගේ නිශ්චිත ආගම
හෙලා දැක ඇත අනෙක් ආගම්..

මගේ රට මගේ ගම
මගේ පංතිය හැම විට
ප්‍රතිවිරුද්ධ අන්තයන් වෙත
සතුරු සිතැඟිම මවා දී ඇත..

ආදරය පිණිස කිසිවිට
මැවුම්කරු මා මවා නැත
ආදරය පිණිස කිසිවිට
ලෝකය මා සූදානම් කර නැත..


Friday 25 May 2012

වීරයෝ..








ඔඵවෙන් සිට ගැන්ම
අස්ථිරය කොතන වුව
නැවත ආපසු දිනෙක
දෙපයින්ම නැගෙනු ඇත..

බියසුල්ලෝ තැනක
ඔඵවෙන් සිට ගත් කලට
වීරයන් ලෙස අර
හැඳින්වෙන අපූරුව..



Friday 18 May 2012

ගර්භනියකගේ ප්‍රේමය







වැරැදීම තුළට පළමුවෙන්ම ඇතුල්වන විට එය වැරැදීමක් නොවන යථාර්තයක් බව ඇයට දැන් වැටහෙයි.

මිලින්ද පහත් මිනිසෙකු නොවන බව ඇය දැන සිටියාය. ඒත් තව දුරටත් ඔහු තමාගේ හදවත තුළ ඇඳී තිබුණු ඔහු නොවන බව හෙළිවන සියඵම කරුණු අනාවරණය වී ඇත. ඒ පරමාදර්ශී ඔහු ජීව ගුණයෙන් පිරුණු කරුණාවකින් හෙබි ඇය වෙනුවෙන් නිරතුරු සැදී පැහැදී සිටින්නෙකි. ඇය ප්‍රිය කරන සියල්ලම ඔහුද ප්‍රිය කරනු ලබයි. හැම ක්‍රියාවකම සෙනෙහසත්, ශාන්ත බවත්, මෘදු බවත් රඳවා තබා ගන්නෙකි.

එහෙත් මිලින්ද එසේ නොවේ. එබඳු පුරුෂ යන්ත්‍රයක් බවට ඔහු පරිවර්තනය ‍වන බවට එකල ඇයට හැඟීමක් නොවුණද, පසුව ඇය තේරුම් ගත්තේ පෙම්වතා විවාහය නම් ප්‍රතික්‍රියාව හරහා යන්ත්‍රයක් බවට පත් වන බවය.

සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය. ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන් ජීවත් නොවේ.

එහෙත් ඒ පැරැණි යථාර්තය අද වැරැදීමක් බව තහවුරු වී ඇත. විවාහය නිවැරැදි කල නොහැකි වරදක් වන්නේ එබැවිනි.
ආදරය සහ ද්වේෂය අතර හරි මැද ලැඟුම් ගත් ඇල්මැරුණු ජීවත් වීම ඇය අපේක්ෂ නොකල දෙයකි. ඒ මධ්‍යස්ථය සාමයක් හෝ යුද්ධයක් නොවේ. එය කිසිම නැවුම් හැඟීමකට, සිහිනයකට ඉඩ නොතබන අබ්බගාත ස්වභාවයකි.
ඇය මධ්‍යස්ථයට අකමැතිය. ජීවිතය ආන්තික විය යුතුය. මේ අබ්බගාත ස්වභාවයට වඩා ආදරයේ උච්ඡස්ථානයක හෝ ද්වේෂයේ පහත් ගැඹුරක පවතින ත්‍රාසය, බිය ඈ තුළ ජීව ගුණයක් ඇති කිරීමට ඉඩ තිබිණ.

ඇය අමල්ට සමීප වූයේ මෙන්ම ප්‍රිය කලේද එබැවිනි. ඔහු කිසිසේත්ම බැරෑරුම් මිනිසෙකු නොවේ. අමල්ගේ අක්‍රමවත් රැවුල බෑම මෙන්ම හිස කෙස් පීරීමද, ඇඳුම් ඇඳීමටද ඇය ප්‍රිය කළාය. මිලින්දගේ දිනපතා ක්‍රමවත්ව පවත්වාගෙන යන ශරීර නඩත්තුවට වඩා ඒ තුළ දිනපතා අලුත් යමක් සොයාගත හැක. හැම විටම හැමදේම නොසැලකිල්ල නිසා අමතක වීම පුරුද්දක් කරගත් අමල්ව ඈට ප්‍රිය මනාප වන්නේ කන බොන, නිදන, ඇහැරෙන මෙකී නොකී සියල්ල මතකයේ තබා ගත් යාන්ත්‍රික ස්වාමියා නිසාමය.

බිරින්ඳෑවරු එසේය. තමන්ගේ ස්වාමියා හැරැ අන් සියලු පුරුෂයන් තුළම ඇයට නැවුම් බවක් දැකිය හැක.

එබැවින් ඇය නැවතත් ප්‍රේමයෙන් වෙලුණාය.

ඇය මිලින්ද සමග රැඳී උන් මධ්‍යස්ථයේ සිට ප්‍රේමය ලෙස ඇය නම් කල උච්ඡස්ථානයකට පැමිණ සිටියේ අමල් සමගය. ඉන්පසු ඒ උච්ඡස්ථානය සහ මධ්‍ය ස්ථානය අතර දෝලනය වීම ඇයට ජීවිතය පහසු කරලීය. අමල්ට කිසිසේත්ම ඈ ඉදිරියේ යන්ත්‍රයක් බවට පත් වීමට නොහැකිය.
ඒත් ප්‍රේමය පිටුපසින් එන දුෂ්ඨ සෙවණැල්ලනම් අයිතිකර ගැනීමේ ආශාවයි.

ඇයට නොසිතුණද ඒ ආශාව සපුරාගත් කාල වකවානුවක් තුළ ඇයද යාන්ත්‍රික ක්‍රියාවලියක එකතුවක්ව සිටි බව අමල්ට ‍නොදැණුනා නොවේ. මිනිසුන්ගේ දෙනෙත් දෘෂ්ඨියට  හසුවන වපසරිය අංශක එකසිය අසූවකට වඩා වැඩි වීමට ඉඩක් නැත. එහෙත් අංශක තුන්සිය හැටක වපසරියක් තමා වටා ඇති බව බොහෝ විට නොදැනීම මිනිසුන්ගේ හොඳ නොවන දුර්වලතාවයකි.

කෙසේ වුවත් අර දුෂ්ඨ සෙවණැල්ල ඔවුන්ගේ ප්‍රේමය පසුපසින්ද පැමිණෙමින් සිටියේය. ඒ සෙවණැල්ලේ පළමු ගොදුර බවට පත්වී සිටියේ අමල්ය. නොසන්සුන් ආශාවත් විඩාවත්, දැල්වෙන බලාපොරොත්තුවත් ඔහුගේ මොහොතින් මොහොත අලුත් වන පැරැණි ස්වභාවය වෙනස් කොට ඒකාකාරී මිනිසෙකු බවට පත් කර තිබුණි. වරක් එවැනි සෙවණැල්ලක ගොදුරක්ව සිටි හෙයින්දෝ ඇයට ඒ සෙවැණැල්ලේ බලපෑම භාර ගත නොහැක්කක් බවට පත්වී තිබුණද එහි බලපෑම කොතෙක්ද යත් පෙර අමල්ගේ විවිධත්වයට රුචි වුවද දැන් ඔහුගේ ඒකාකාරී ගලා යෑම ඇයට වටහා ගත නොහැකි වී තිබිණ.

ප්‍රේමය එකිනෙකා නිරාවරණය කරනු වෙනුවට සැම විටම වසා දමයි.


කිසිවකින්වත් අමල්ගෙන් දුරස් නොවීමට ඈ අදිටන් කර ගෙන සිටියාය. එකම  භූමිකාව නැවතත් වෙනත් තැනක රඟපාමින් සිටින බව කිසිසේත්ම ඇයට වැටහීමක් නොවිණ.

ඒත් සෙවණැලි වලට වැඩි ආයුෂ නොවේ. අන්ධකාරය තුළ සෙවණැලි මෙන්ම ආත්මයන්ද අතරමං වී නොපෙනී යයි.

යාන්ත්‍රික මධ්‍යස්ථයේ මිලින්ද සමග එකමුතුවෙන් ඇය නොසිතූ ලෙස කුස තුළට අමුත්තෙකු පැමිණියේය. ඊට පෙර මහමායාවන් ලෙස ඇය එය සිහිනෙනුදු නොදිටීය. ඒත් ඊට පසු ඇය තුළ හෙණ දහසක් පිපිරී යමින් ලැජ්ජාවෙන්ද, අපේක්ෂා භංගත්වයෙන්ද, වේදනාවෙන්ද ඇය ඇඹරී ගි‍යාය. නොපෙනෙන හදවත් සන්තානයක මිලින්ද දුෂ්ඨයාගෙ චරිතයට පණ පොවමින් සිටියේ ඔහුත් නොදැනුවත්වය.

ස්වාමි පුරුෂයන් එසේය. අවසාන වශයෙන් ‍දැනුවත්ව හෝ නොදැනුවත්ව තම භාර්යාවන් දමනය කරයි.

ඇය මතුපිටින් නොහඞන නමුත් ඇතුළතින් හඞමින් සිටියාය. මතුපිටින් හඞන්නට අවසර නැත. මේ අවස්ථාව සතුටු විය යුතු අවස්ථාවක් ලෙස මුඵ ලෝකයම යෝජනා කරනු ලැබූ අවස්ථාවකි. මිලින්දද සතුටට පත්ව ඇත. ඔහු යාන්ත්‍රික ජිවිතයෙන් අවදිව අලුත් දෙයක් වෙනුවෙන් මොහොතකට සූදානම් වී ඇත. ඇය සිනාසිය යුතුය. 

අමල්ගෙන් සැඟවී ගත යුතුය. ප්‍රේමය ගිනි ගෙන ඇත. නැත්නම් යක්ෂයා විසින් ගිනි තබා ඇත. ඇය කුරිරු විය යුතුව තිබිණ. ඇය එක් ගබ්සාවක් කල යුතු විය. කුස තුළට වන් අමුත්තා ගබ්සා කල නොහැක. එය පවුල යන පරමාදර්ශයේ නෑඹුල්ම ඵල හට ගැන්මයි. මිලින්දගේ පීතෘත්වයේ සිනහවයි. නෑසිය හිතවතුන්ගේ බලාපොරොත්තුවයි.
ඒත් පපුවට යටින් රිදුම් දෙන හදවතේ පිළිසිඳගෙන ඇති ආදරයේ කලලය ගබ්සා කල යුතුව ඇත. ඒත් ඒ කළලය නොපෙනෙන හුයකින් හදවත් දෙකක් තුළම දෙබිඩිව පිළිසිඳ ඇති බැවින් ඒ හුය පළමුව කපා දැමිය යුතුව ඇත. ඇය ඒ හුය කපා දැමීය. එහි වේදනාවෙන් අමල් මර හඞ නැගූවද කල හැකි කිසිවක් නැත. ඇය කඳුඵ සඟවාගෙන ගබ්සාව ආරම්භ කළාය. ඊට එරෙහි වන අමල්ගේ විරෝධය ළඟදි ඇය ද්වේෂයේ පතුළටම කිමිදුණාය. ඒ ගැඹුරු පතුලෙන් නැගී ආ විසල් රළ ඔස්සේ අමල් ඈතකට ගසා ගෙන ගියේය.

ඇය ප්‍රතිවිරුද්ධ ආන්තික අත්දැකීමද සම්පූර්ණ කළාය.

ආදරය සහ වෛරය.

අන්ත දෙකකට උත්කර්ෂයෙන් ගමන් කිරීමෙන් අනතුරුව ඇය මධ්‍යස්ථයේ පළමු වරට තැන්පත් තැනැත්තියක් වූවාය. ඒ හරි මැද ස්ථාවර වීම ආන්තික ගමන් වලදී මෙන් වෙහෙසකර නොවන බව ඇයට පළමුවරට අවබෝධ විය.

මිලින්ද කොයි තරම් හොඳ මිනිහෙක්ද ඇය සිතුවාය.

බිරින්ඳෑවරු එසේය. තම ස්වාමියා එළවා දැමිය හෝ මරා දැමිය නොහැකි අවස්ථාව උදාවූ විට ඔහුව භක්තියෙන් පිළි ගනියි.

  

Tuesday 15 May 2012

ප්‍රශ්ණ වලට ඉඩ නොදුන් ප්‍රශ්ණය






කුස පිරුණු මිනිසුන්ට
සිය ගණන් පුද්ගලික
ප්‍රශ්ණ ඇතිවී තිබුණා
මං පුංචි කාලෙත්....
පවුල් අවුල්
ආදර ගැටඵ
සොර බිය
බැංකු පොළී අඩුවීම
දරුවන් කෑමට හොරවීම
තව බොහෝ....

සිනමා සිත්තම් විලස
නොයෙක වර මට දැණුන...

අදත් එහෙමයි මම
එවන් සිනමා බලන
සාගින්න පමණක්
එකම ප්‍රශ්ණය වුණ..

රැයක් දවාලක් පාසා
නැවත නැවතත්
මා සොයා පැමිණෙන
කිසිදා නොවිසඳුණු
එකම ප්‍රශ්ණය..?
ඉඩ නොදෙයි
සිනමා රූප ලෙස සිතෙන
අන් කිසිම
ප්‍රශ්ණයකට...

සිනමා රූප මත
නලියන චරිත කිසිවිට
නොදන්නා ගැඹුරක තිබෙන
එකම ප්‍රශ්ණය 
ම'වැන්නන් පමණක් දන්න..


Tuesday 8 May 2012

අනාථ වූ බහිරවයන්ගෙන්..




ගල් තලා යට සැඟවූ
රත්රන් මුතු මැණික් කැබැලිති
රකින්නෙමු යුග ගණන්
වස්තු තෘෂ්ණාවෙන්
මඩිනා සිතැති අප..

අමනුෂ්‍ය 
ස්වභාවය එයයි..

මහ පොළොව සතු
අති මහත් නිධානය
ගහ කොළ ඇළ දොල නදී
සතා සීපාවන්මය..

එය රකිනු බැරි තොප
තෘෂ්ණාවෙන් මැඩූ සිතැතිව
අමනුෂ්‍ය රීති කඩකර
ඉල්ලයි රත්රන් කැබැලි
යුධ භටයින් එවා
බැකෝවෙන් පහර දී..

මුග්ධ මිනිසුනි තොපට
රැකිය නොහැකිය කිසිවක්
කල්ප කාලයක් හාමතින්
වැදහොත් විලස
අමනුෂ්‍යයන් ඉක්මවූ
තණ්හාධිකය තොප මන..

අවසන පැරැදී ඇත
තමා සතු හදවතින්
මිනිසුන්ට පමණක් නොව
අමනුෂ්‍යයන් ළඟද තොප..